කොළොම්බියාවට ළඟාවීමේ ප්රමාදය හේතුවෙන් ශ්රී ලංකා දුර පැනීමේ ක්රීඩක හිරූෂ අබේසේකරට ‘‘කේලි’’ නගරයේ දී පසුගිය 01 වැනිදා ආරම්භ වූ 19 වැනි ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්රීඩා තරගාවලියට තරග වැදීමේ අවස්ථාව අහිමි විය.
දුර පැනීම (පිරිමි) ඉසව්ව කොළොන්ම්බියාවේදී පැවැත්වීමට නියමිතව තිබුණේ අගෝස්තු 1 වැනිදා පෙරවරු 11.45 ටය. එහෙත් කොළඹ සිට කටාර් සහ පැනමාව හරහා කොළොම්බියාව බලා පැමිණි ශ්රී ලංකා ක්රීඩක හිරුෂ අබේසේකරට ඉසව්වට සහභාගිවීමේ අවස්ථාව අහිමිව ගියේ ගුවන් ගමන් ප්රමාදයක් නිසා බව ද වාර්තාවේ. කටාර් ගුවන් තොටුපොළට ළඟාවීමේ දී ඇතිවූ ප්රමාදයක් හේතුවෙන් ඔහුට එතැන් සිට යොදාගත් පරිදි සාවෝ – පාවුලෝ නුවර හරහා කොළොම්බියාවට ඇතුළුවීම වෙනුවට ගමන් මාර්ගය වෙනස් කර පැනමාව හරහා එහි යාමට සිදුවිය.
මෙම ලෝක ශූරතා තරගාවලියට සහභාගිවී සිටින සංචාරක ශ්රී ලංකා කණ්ඩායම එරටට ළඟාවීම සම්බන්ධයෙන් ප්රශ්නයක් උද්ගත විය. එහිදී ගුවන් ප්රවේශපත්ර වෙන්කර ගැනීමට නොහැකිවීමෙන් තරග සංචාරය අත්හැර දැමීමේ තත්ත්වයක් ද පැන නැගුණි.
කෙසේ වුවත් මෙම ගැටලුවට ක්රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ද මැදිහත්වීමෙන් පසුව ශ්රී ලංකා කණ්ඩායමේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 26 ක් තරම් අධික වියදමක් දරමින්, ව්යාපාරික පන්තියේ ගුවන් ප්රවේශපත්ර මිල දී ගැනීමට සිදුවිය. ඒ අනුව සංචාරක ශ්රී ලංකා කණ්ඩායම කාණ්ඩ තුනකින් පසුගිය සෙනසුරාදා (30) රාත්රියේ සිට කොළඹින් පිටත්වීම ආරම්භ කළේය.
ශ්රී ලංකා ක්රීඩක හිරුෂ තරග වැදීමට සූදානම්ව සිටි දුර පැනීම (පිරිමි) ඉසව්ව සඳහා ක්රීඩකයන් 24 දෙනෙකු මූලික වටය සඳහා තරගවැදීමේදී අවසන් තරගයට නිර්දේශ ලබාගත් ක්රීඩකයන් 12 දෙනා අතර එතෙක් හොඳම පිම්ම වාර්තා කර සිටියේ කියුබාවේ ඇල්ජැන්ඩ්රෝ පරඩාය. ඒ ඔහුගේ හොඳම දක්ෂතාවය වන මීටර 7.95 ක දුරක් වාර්තා කරමිනි. තරග වැදීමට සූදානම්ව සිටි හිරුෂගේ එතෙක් හොඳම පිම්ම බවට පත්ව තිබුණේ මීටර 7.67 කි.
මේ අතර ඊයේ ( 2 වැනිදා) මීටර 110 කඩුලු මූලික වටයේ පස්වැනි තරගයට සහභාගි වූ ශ්රී ලංකා ක්රීඩක කවීෂ බණ්ඩාර තත්පර 14.18ක කාලයක් වාර්තා කරමින් අත්කර ගත්තේ 6 වැනි ස්ථානයයි. මෙය ඔහුට ඉසව්වේ ඉදිරියට යාමට ප්රමාණවත් නොවීය. මූලික වටයේ සමස්ත ප්රතිඵලය තුළ ඔහුට හිමිවූයේ 33 වැනි ස්ථානයයි.
කවිෂගේ මෙම ඉසව්වේ හොඳම දක්ෂතාවය තත්පර 14.02 කි. මූලික වටය ජයගත් නෙදර්ලන්ත ක්රීඩක මැතිව් සොපියා තත්පර 13.10 ක කාලයක් වාර්තා කරමින් එහි අවසන් පූර්ව වටයට නිර්දේශ ලබාගත් ක්රීඩකයන් 24 දෙනා අතර ඉදිරියෙන්ම පසුවේ.
අගෝස්තු 7 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී මීටර 400 (කාන්තා) ඉසව්වේ මූලික වටය සඳහා තරුෂි කරුණාරත්නත් මීටර 400 කඩුලු (කාන්තා) ඉසව්වේ මූලික වටය සඳහා අමීෂා හෙට්ටිආරච්චි ශ්රී ලංකාව වෙනුවෙන් තරග වැදීමට සූදානමින් සිටියහ.
තරගාවලියේ පදක්කම් සටහන යාවත්කාලීන කිරීම ආරම්භ වීමේදී ඉතියෝපියාව රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනාගනිමින් එහි පෙරමුණගෙන සිටියේය. කෙන්යාව ද ඒ වනවිට රන් පදක්මක් හා එක් ලෝකඩ පදක්කමක් හිමිකර ගෙන සිටියේය